එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත්

0
15

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ අද [ 24 ] රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ එකඟතාවකට එළඹ තිබේ .

එක්සත්  ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංවර්ධන උපාය  මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ .

මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා අවශ්‍ය නම් තමා පක්ෂ නායකත්වයෙන් වුවද යාමට  සූදානම් බව පැවසී යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලුම දෙනා එම තිර තීරණයට විරෝධය දැක්වූ බවත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඉදිරියටත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන ලෙස ජේෂ්ඨ නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  කිරීම්ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතාගේ පූර්ණ  එකඟතාව පළ වී ඇති අතර අනිද්දා [ 26 ] පැවැත්වෙන  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම යෝජනාව සම්මත කිරීමට ද තීරණය කර තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතික පෙර පෙරමුණ නියෝජනය කරන පක්ෂ  නායකයන් ද මීට පෙර තීරණය කර තිබිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here