එකම ගුවන් යානයක් පදවාගෙන ආව තාත්තගෙයි පුතාගෙයි අපූරු කතාව

0
38

ශ්‍රී ලාංකික ගුවන් නියමුවකු, තම එකම පුතාද ගුවන් නියමුවකු බවට පත්කර, ඔහු සමඟ විදේශීය ගුවන් යානයක් පදවාගෙන තම මව්රටට පැමිණීමේ පුවත රටපුරා මෙන්ම ලොව පුරාද පැතිර ගියේ චණ්ඩ මාරුතයක් මෙන්ය. ඒ පුවත ඇසූ ශ්‍රී ලාංකිකයෝ මහත් සේ අමන්දානන්දයට පත් වී සිටියහ.

ඉකුත් 24 දින රාත්‍රිය එළඹෙමින් තිබුණි. ඔවුන් විසින් පදවාගෙන එනු ලබන මැලේසියාවට අයත් ඒ.කේ. 047 දරන ගුවන් යානය එදින රාත්‍රී 9.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතව තිබුණි. මෙම සිද්ධිය සියැසින් දැකබලා ගනිමින් සමස්ත ශ්‍රී ලංකාවට මෙන්ම, ලෝකවාසී ජනතාවට දැනගැනීම සදහා වාර්තාකරණයෙහි යෙදීමට එදින රාත්‍රී 8.00 සිටම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මාධ්‍යවේදීහු පැමිණෙමින් සිටියහ.

කෙමෙන් කෙමෙන් රාත්‍රී 9.45 පමණ වනවිට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ මෙම ගුවන්යානය පැමිණෙන 10-11 ගේට්ටුව වෙත අපව රැගෙන යෑමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි. ගුවන් යානය යළි ආපසු පැයක පමණ කාලයකින් අනතුරුව පිටත්ව යෑමට නියමිත බැවින් මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකාරවරයා අපව නියමු කුටිය වෙත රැගෙන යෑමට කාරුණික විය. ඒ වනවිටත් එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් මහත් නොසන්සුන්තාවයකට පත්ව සිටියේ තවත් විනාඩි 05 කින් පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය වෙත ළඟාවන බැවිනි. විශේෂයෙන්ම මෙහි පැමිණ සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට අවශ්‍යව තිබුණේ මෙම ගුවන් යානය ධාවන පථය වෙත ගොඩබසිනවිට සහ පසුව ගුවන් තොටුපළ තුළට පැමිණෙන දර්ශන ලබා ගැනීමටය.

එහෙත් ඒ අවස්ථාවේ එහි පැමිණි ගුවන් තොටුපළ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයකු එම පියවර, එනම් මාධ්‍යවේදීන් ගුවන් යානය සමීපයට සහ නියමු කුටිය වෙත ගෙන යෑම වළක්වාලූයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය ඊට අවශ්‍ය බව පවසමිනි. ඒ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයාට අප මේ පිළිබඳව පැහැදිලි කර, මෙම සිදුවීමේ ඇති ජාතික වැදගත්කම පිළිබඳව වටහාදීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ විය.

එහෙත් මෙම කලබැගෑනිය අතරතුර ගුවන් තොටුපළ නිවේදිකාවක දන්වා සිටියේ එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ. 047 දරන ගුවන් යානය රාත්‍රී 9.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණ ඇති බවයි. එය ශ්‍රවණය වීමත් සමඟ එහි සිටි මාධ්‍යවේදීහු වඩාත් නොසන්සුන් වන්නට වූහ. ඒ වනවිටත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය වෙත ගොඩ බස්වා, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයටද ඇතුළු කර තිබුණි. එනිසා මාධ්‍යවේදීන් අපේක්ෂා කළ ඒ ස්වර්ණමය මොහොත සජීවී ලෙස වාර්තාගත කර ගැනීම කනගාටුදායක ලෙස ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබුණි.

කපිතාන් උදිත දන්වත්ත සහ ඔහුගේ පුතු සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත විසින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පදවාගෙන පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ. 047 දරන ගුවන් යානය රාත්‍රී 9.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවූයේ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමිනි. පසුව මෙම ආදරණීය ගුවන් නියමු පියාණන් සහ ඔහුගේ ආදරණීය පුත් සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත සුළු මොහොතකට නියමු කුටියෙන් බැහැරට ගෙන අප මාධ්‍යවේදීන් රැඳී සිටි ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල වෙත කැඳවා ගෙන එන්නට පියවර ගනු ලැබීය. ඒ අනුව ඔවුන් දෙදෙනා යුහුසුළුව, ඉක්මන් ගමනින්, මාධ්‍යවේදීන් රුඳී සිටි පර්යන්ත ගොඩනැගිල්ල වෙත පැමිණෙන්නට වූයේ මුවඟ සිනහවක්ද රඳවා ගනිමින්ය.

ඒ අවස්ථාවේදී උදිතගේ ආදරණීය බිරිඳ, කවීෂගේ දයාබර මෑණියන්ද, මල් පොකුරක් ගෙන ඔවුන්ට සුභ පතමින්, ඔවුන්ව පිළිගැනීමට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල වෙත පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනා ඇයවද කැඳවාගෙන මාධ්‍යවේදීන් හමුවට පැමිණියහ.

දෑත් එක්කර සියලු මාධ්‍යවේදීන්ට ආයුබෝවන් යනුවෙන් ආචාර කරමින් පැමිණි කපිතාන් උදිත දන්වත්ත මහතා මෙසේ සිය කථාව ආරම්භ කළේය.

“අද අපි ආවේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඉඳලා. මට මෙම ගුවන් යානයේ ප්‍රධාන කපිතාන්වරයා ලෙස අධිකාරී බලපත්‍රයක් තියෙනවා. මෙම ගුවන් යානය මෙහෙයවමින් පැමිණීමට. එහිදී මෙම ගුවන් යානයේ මගේ සහායක ගුවන් නියමුවා, Frist Officer ලෙස කටයුතු කරන්නේ මගේ එකම පුතා කවීෂ දන්වත්ත. මේක සුවිශේෂී අවස්ථාවක්. මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්.

මම කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මගේ පුතා කවීෂ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මම මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ ගුවන් නියමුවෙක්. මම පසුගිය යුද සමයේ මිග් – 27 කෆීර් මෙන්ම එෆ් – 7 වර්ගයේ ගුවන් යානාත් පදවා තියෙනවා. එක් අවස්ථාවක මම පැදවූ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වුවත්, එම යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එන්නට මම සමත් වුණා. මට ඒ වෙනුවෙන් රණශූර පදක්කම ලැබිලා තියෙනවා.
මම ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙන්ම මිහින් ලංකා ගුවන් සේවයේත් ගුවන් නියමුවෙකු ලෙස රාජකාරි කළා. මම සියලුම එයාර්බස් වර්ගයේ ගුවන් යානා පදවලා තියෙනවා. ඒ. – 319, ඒ. – 320, ඒ. – 321 ක මෙන්ම ඒ. – 340 වර්ගයේ ගුවන් යානාත් මම පදවලා තියෙනවා. ඉතින් මට ගුවන් නියමුවෙකු වශයෙන් රාජකාරී කරන්නට විශාල පළපුරුද්දක් තියෙනවා. කැපවීම සහ උත්සාහය තුළිනුයි මිනිසුන් ඉදිරියට එන්න ඕන.

ඉතින් මට අද ගොඩක් සතුටුයි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටුවෙන්න පුළුවන් දවසක් අද. ආඩම්බර වෙන්නත් පුළුවන් දවසක් අද. මට මේ අවස්ථාව උදාකර ගන්න සහාය දක්වපු එයාර් ඒෂියා ගුවන් සේවා සමාගමේ සභාපති ටෝනි ෆර්නැන්ඩස් මහතා ඇතුළු එයාර් ඒෂියා ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරීත්වයටත් මම අද ස්තුතිවන්ත වෙනවා යැයිද උදිත දන්වත්ත මහතා පැවසීය.

ඉන්පසුව අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත, 

“මට කුඩා කාලයේ ඉඳලම සිහිනයක් තිබුණා. ඒ සිහිනය අද අවුරුදු 22කට පස්සෙ සැබෑ වුණා. ඉතිං මට මේ තත්ත්වයට එන්න උදව් උපකාර කළ මගේ ආදරණීය දෙමාපියන්ට, මගේ ගුරැවරැන්ට, මගේ ගුවන් යානා පිළිබඳ උපදේශකවරුන්ට මෙන්ම එයාර් ඒෂියා ගුවන් සේවා සමාගමේ සියලුම නිලධාරීන්ටත් මම මේ අවස්ථාවේ ස්තුතිය පිරිනමනවා” යැයි පැවසීය.

ඉන්පසු මේ පිය පුතු දෙපළ මාධ්‍යවේදීන්ට සමු දෙමින්, ඉක්මන් ගමනින් එතැනින් යළි ගුවන් යානය බලා පිටත්වූයේ “වෙලාවට වැඩ කරන්න ඕනෑ.” යනුවෙන් පවසමිනි. ඉන් මඳ වේලාවකට පසු රාත්‍රී 10.55ට උදිත දන්වත්ත සහ ඔහුගේ ආදරණීය පුත් කවීෂ දන්වත්ත දෙදෙනා විසින් පැදවූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. – 046 දරන ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව මහ වැසි සහ ඝන අඳුර මැදින් යෝධ කුරැල්ලෙක් සේ නොපෙනී ගියේය.
            
 කටුනායක ටී.කේ.ජී. කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here