Home Blog

අකිලගේ ලියුමට ශ්‍රීලනිපයෙන් කොල එළියක් ! බහුතරයේ කැමැත්ත සජිත්ට

0

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් නුදුරේදීම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීම පරිදි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ කාරියවසම් විසින් පසුගියදා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරමින් ලිපියක් යොමු කරනු ලැබුවා. එම ලිපිය තමන්ට ලැබුණු බව පසුගියදා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ද මාධ්‍ය හමුවේ කියා සිටියා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සමග සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර මෙම හමුව සිදුවීමට නියමිතව ඇත්තේ.

මේ අතර ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව ඔක්තෝම්බර් 05 වෙනිදා තීරණය කිරීමට තීරණය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුවී ද්විත්ව පුරවැසි නඩුව හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් එම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ වැරදිකරු වුවහොත් ඔහුට මෙරට ආගමන විගමන පනත යටතේ ඇප නොලැබෙන අතර එහිදී ඇතිවන ගැටලුකාරී තත්ත්වය නිසා සිය තීරණය ප්‍රමාද කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එකම ගුවන් යානයක් පදවාගෙන ආව තාත්තගෙයි පුතාගෙයි අපූරු කතාව

0

ශ්‍රී ලාංකික ගුවන් නියමුවකු, තම එකම පුතාද ගුවන් නියමුවකු බවට පත්කර, ඔහු සමඟ විදේශීය ගුවන් යානයක් පදවාගෙන තම මව්රටට පැමිණීමේ පුවත රටපුරා මෙන්ම ලොව පුරාද පැතිර ගියේ චණ්ඩ මාරුතයක් මෙන්ය. ඒ පුවත ඇසූ ශ්‍රී ලාංකිකයෝ මහත් සේ අමන්දානන්දයට පත් වී සිටියහ.

ඉකුත් 24 දින රාත්‍රිය එළඹෙමින් තිබුණි. ඔවුන් විසින් පදවාගෙන එනු ලබන මැලේසියාවට අයත් ඒ.කේ. 047 දරන ගුවන් යානය එදින රාත්‍රී 9.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතව තිබුණි. මෙම සිද්ධිය සියැසින් දැකබලා ගනිමින් සමස්ත ශ්‍රී ලංකාවට මෙන්ම, ලෝකවාසී ජනතාවට දැනගැනීම සදහා වාර්තාකරණයෙහි යෙදීමට එදින රාත්‍රී 8.00 සිටම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මාධ්‍යවේදීහු පැමිණෙමින් සිටියහ.

කෙමෙන් කෙමෙන් රාත්‍රී 9.45 පමණ වනවිට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ මෙම ගුවන්යානය පැමිණෙන 10-11 ගේට්ටුව වෙත අපව රැගෙන යෑමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි. ගුවන් යානය යළි ආපසු පැයක පමණ කාලයකින් අනතුරුව පිටත්ව යෑමට නියමිත බැවින් මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකාරවරයා අපව නියමු කුටිය වෙත රැගෙන යෑමට කාරුණික විය. ඒ වනවිටත් එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් මහත් නොසන්සුන්තාවයකට පත්ව සිටියේ තවත් විනාඩි 05 කින් පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය වෙත ළඟාවන බැවිනි. විශේෂයෙන්ම මෙහි පැමිණ සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට අවශ්‍යව තිබුණේ මෙම ගුවන් යානය ධාවන පථය වෙත ගොඩබසිනවිට සහ පසුව ගුවන් තොටුපළ තුළට පැමිණෙන දර්ශන ලබා ගැනීමටය.

එහෙත් ඒ අවස්ථාවේ එහි පැමිණි ගුවන් තොටුපළ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයකු එම පියවර, එනම් මාධ්‍යවේදීන් ගුවන් යානය සමීපයට සහ නියමු කුටිය වෙත ගෙන යෑම වළක්වාලූයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය ඊට අවශ්‍ය බව පවසමිනි. ඒ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයාට අප මේ පිළිබඳව පැහැදිලි කර, මෙම සිදුවීමේ ඇති ජාතික වැදගත්කම පිළිබඳව වටහාදීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ විය.

එහෙත් මෙම කලබැගෑනිය අතරතුර ගුවන් තොටුපළ නිවේදිකාවක දන්වා සිටියේ එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ. 047 දරන ගුවන් යානය රාත්‍රී 9.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණ ඇති බවයි. එය ශ්‍රවණය වීමත් සමඟ එහි සිටි මාධ්‍යවේදීහු වඩාත් නොසන්සුන් වන්නට වූහ. ඒ වනවිටත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය වෙත ගොඩ බස්වා, ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයටද ඇතුළු කර තිබුණි. එනිසා මාධ්‍යවේදීන් අපේක්ෂා කළ ඒ ස්වර්ණමය මොහොත සජීවී ලෙස වාර්තාගත කර ගැනීම කනගාටුදායක ලෙස ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබුණි.

කපිතාන් උදිත දන්වත්ත සහ ඔහුගේ පුතු සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත විසින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පදවාගෙන පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ. 047 දරන ගුවන් යානය රාත්‍රී 9.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවූයේ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමිනි. පසුව මෙම ආදරණීය ගුවන් නියමු පියාණන් සහ ඔහුගේ ආදරණීය පුත් සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත සුළු මොහොතකට නියමු කුටියෙන් බැහැරට ගෙන අප මාධ්‍යවේදීන් රැඳී සිටි ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල වෙත කැඳවා ගෙන එන්නට පියවර ගනු ලැබීය. ඒ අනුව ඔවුන් දෙදෙනා යුහුසුළුව, ඉක්මන් ගමනින්, මාධ්‍යවේදීන් රුඳී සිටි පර්යන්ත ගොඩනැගිල්ල වෙත පැමිණෙන්නට වූයේ මුවඟ සිනහවක්ද රඳවා ගනිමින්ය.

ඒ අවස්ථාවේදී උදිතගේ ආදරණීය බිරිඳ, කවීෂගේ දයාබර මෑණියන්ද, මල් පොකුරක් ගෙන ඔවුන්ට සුභ පතමින්, ඔවුන්ව පිළිගැනීමට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල වෙත පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනා ඇයවද කැඳවාගෙන මාධ්‍යවේදීන් හමුවට පැමිණියහ.

දෑත් එක්කර සියලු මාධ්‍යවේදීන්ට ආයුබෝවන් යනුවෙන් ආචාර කරමින් පැමිණි කපිතාන් උදිත දන්වත්ත මහතා මෙසේ සිය කථාව ආරම්භ කළේය.

“අද අපි ආවේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඉඳලා. මට මෙම ගුවන් යානයේ ප්‍රධාන කපිතාන්වරයා ලෙස අධිකාරී බලපත්‍රයක් තියෙනවා. මෙම ගුවන් යානය මෙහෙයවමින් පැමිණීමට. එහිදී මෙම ගුවන් යානයේ මගේ සහායක ගුවන් නියමුවා, Frist Officer ලෙස කටයුතු කරන්නේ මගේ එකම පුතා කවීෂ දන්වත්ත. මේක සුවිශේෂී අවස්ථාවක්. මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්.

මම කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මගේ පුතා කවීෂ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මම මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ ගුවන් නියමුවෙක්. මම පසුගිය යුද සමයේ මිග් – 27 කෆීර් මෙන්ම එෆ් – 7 වර්ගයේ ගුවන් යානාත් පදවා තියෙනවා. එක් අවස්ථාවක මම පැදවූ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වුවත්, එම යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එන්නට මම සමත් වුණා. මට ඒ වෙනුවෙන් රණශූර පදක්කම ලැබිලා තියෙනවා.
මම ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙන්ම මිහින් ලංකා ගුවන් සේවයේත් ගුවන් නියමුවෙකු ලෙස රාජකාරි කළා. මම සියලුම එයාර්බස් වර්ගයේ ගුවන් යානා පදවලා තියෙනවා. ඒ. – 319, ඒ. – 320, ඒ. – 321 ක මෙන්ම ඒ. – 340 වර්ගයේ ගුවන් යානාත් මම පදවලා තියෙනවා. ඉතින් මට ගුවන් නියමුවෙකු වශයෙන් රාජකාරී කරන්නට විශාල පළපුරුද්දක් තියෙනවා. කැපවීම සහ උත්සාහය තුළිනුයි මිනිසුන් ඉදිරියට එන්න ඕන.

ඉතින් මට අද ගොඩක් සතුටුයි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටුවෙන්න පුළුවන් දවසක් අද. ආඩම්බර වෙන්නත් පුළුවන් දවසක් අද. මට මේ අවස්ථාව උදාකර ගන්න සහාය දක්වපු එයාර් ඒෂියා ගුවන් සේවා සමාගමේ සභාපති ටෝනි ෆර්නැන්ඩස් මහතා ඇතුළු එයාර් ඒෂියා ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරීත්වයටත් මම අද ස්තුතිවන්ත වෙනවා යැයිද උදිත දන්වත්ත මහතා පැවසීය.

ඉන්පසුව අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත, 

“මට කුඩා කාලයේ ඉඳලම සිහිනයක් තිබුණා. ඒ සිහිනය අද අවුරුදු 22කට පස්සෙ සැබෑ වුණා. ඉතිං මට මේ තත්ත්වයට එන්න උදව් උපකාර කළ මගේ ආදරණීය දෙමාපියන්ට, මගේ ගුරැවරැන්ට, මගේ ගුවන් යානා පිළිබඳ උපදේශකවරුන්ට මෙන්ම එයාර් ඒෂියා ගුවන් සේවා සමාගමේ සියලුම නිලධාරීන්ටත් මම මේ අවස්ථාවේ ස්තුතිය පිරිනමනවා” යැයි පැවසීය.

ඉන්පසු මේ පිය පුතු දෙපළ මාධ්‍යවේදීන්ට සමු දෙමින්, ඉක්මන් ගමනින් එතැනින් යළි ගුවන් යානය බලා පිටත්වූයේ “වෙලාවට වැඩ කරන්න ඕනෑ.” යනුවෙන් පවසමිනි. ඉන් මඳ වේලාවකට පසු රාත්‍රී 10.55ට උදිත දන්වත්ත සහ ඔහුගේ ආදරණීය පුත් කවීෂ දන්වත්ත දෙදෙනා විසින් පැදවූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. – 046 දරන ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව මහ වැසි සහ ඝන අඳුර මැදින් යෝධ කුරැල්ලෙක් සේ නොපෙනී ගියේය.
            
 කටුනායක ටී.කේ.ජී. කපිල

පොහොට්ටුවේ නායකයින් සිය ස්ථාවරය ජනපතිට දැනුම් දෙයි

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (28) දැනුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යයාලයේ අද දහවල් පැවති සාකච්ඡාවේදීයි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කර, ඉදිරි මහමැතිවරණයේදී වෙනත් ලකුණකින් තරඟ වැදීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගත යුතු බවයි. 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ද විමසීමක් කළ යුතු බවයි. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා රැස්වීමට නියමිතව තිබෙනවා. 

එජාපය නෙරපූ එස් බී නාවින්න සජිත් සමඟ එක්වේ

0

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. නාවින්න එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සිය සහය පලකරන බව ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව සඳහන් කර සිටියේ අමාත්‍ය මංගල සමරවීර ගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

” අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දීම තමාගේ යුතුකමක් ලෙස සලකන බවත් ඔහු මෙවර ජනාධිපතිවරණය ජයග්‍රාහණය කරවිය යුතු බවයි ඔහු කියා සිටියේ. තමන් වසර තිස් ගණනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිට පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවයි එස්.බි.නාවින්න මන්ත්‍රිවරයා කියා සිටියේ. පක්ෂ පාට භේදයකින් තොරව අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට බොහෝ පිරිස් කැමැත්තෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා. පසුගිය කාල සීමාවේදී ඇතිවූ යම් යම් හේතුන් නිසා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටිය බවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණයට නම් කිරීමත් සමග තමන් සක්‍රියව යලි සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමට ක්‍රියා කරන බවයි.”

මහින්ද-ගෝඨාභය-බැසිල්-මෛත්‍රී හමුව ඇරඹේ

0

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම සාකච්ජාව සිදුවන බවයි එහි ජේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

ඊයේ (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ දී ගනු ලැබූ තීන්දු අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානය සම්බන්ධයෙන් හා සලකුණ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ජාවේදී තීරණාත්මක තින්දුවක එළඹෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක සඳහන් කර සිටියේ.

දුම්රිය වර්ජනය තවදුරටත්, දුම්රිය කීපයක් ධාවනය වේ

0

සිය වැටුප් ගැටළුවට විසදුමක් ලැබෙන තුරු ඊයේ (25) රාති‍්‍රයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඒ, පිළිබඳ කරුණු දැක්වු ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් පී. එම්. පී. පීරිස් කියා සිටියේ “දුම්රිය නියාමක, දුම්රිය රියදුරු, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය පාලක, අධීක්ෂණ කළමනාකරණ කියන සේවයන් ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹිලා තියෙනවා. වසර ගණනාවක සිට පවතින වැටුප් ගැටලුව මුල්කරගෙන තමයි මෙම ක්‍රියාමාර්ගයට එළඹුණේ. දිගින් දිගටම සිදුකළ සාකච්ඡාවලට බලධාරීන් සාධාරණයක් ඉටු කළේ නෑ.මෙම ගැටලුව නිරාකරණය කරන තුරු ආරම්භ කළ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ වන විට කිසිම දුම්රියක් ධාවනය කිරීමට හැකියාවක් නෑ.” යනුවෙනි.

කෙසේවෙතත් අද (26) උදෑසන දුම්රිය කිහිපයක් ප‍්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළා. අලුයම 04.50 ට සහ අලුයම 05.30 ට ගාල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය 02 ක් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා.

එම දුම්රියන් ගාල්ල සිට කොළඹ කොටුව දක්වා ඇති සියලූම දුම්රිය ස්ථානවල නතර කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.11 ට ද දුම්රියක් ගමන් ආරම්භ කළා. එම දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා සීග‍්‍රගාමීව ධාවනය කෙරෙන අතර අලුත්ගම සිට මරදාන දක්වා සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වීමට නියමිතයි.

අලුයම 05.30 ට හලාවත දුම්රිය ස්ථානයෙන් සහ අලුයම 05.35 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් තවත් දුම්රිය 02 ක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරීම ඇරඹුණා.

කුරුණෑගල දුම්රිය ස්ථානයේ සිට තවත් දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කර ඇත්තේ අලුයම 05.57 ටයි.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න පැවසුවේ මහනුවර දුම්රිය ස්ථානයේ සිට තවත් දුම්රියක් අද උදෑසන ගමන් ආරම්භ කළ බවයි.

මේ අතර දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මගීන්ට ඇතිිවන ප‍්‍රවාහන දුෂ්කරතා මග හැරවීමට බස්රථ ගමන්වාර සංඛ්‍යාව වැඩි කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ සම්බන්ධයෙන් දුම්රිය ස්ථාන ආසන්න ඩිපෝවල සියළුම ඩිපෝ අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ පැවසුවා.

ජනාධිපතිවරණයට පෙර වැඩ වර්ජන රැල්ල අලුත් වෙයි

0

නාධිපතිවරණය එළඹීමත් සමඟ සේවකයින්ගේ අයිතීන් දිනා ගැනීමට සටන් වැඩිවී තිබෙනවා.

මේ වන විට පරිපාලන නිලධාරීන් වැඩ වර්ජනයේ නිරත වන අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට අදට දින 16 ක්.

යම් ඉල්ලීම් ප්‍රමාණයක් ලැබුනත් ආබාධිත සෙබළුන් මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වෘත්තීය සටන් වලට හෙට තවත් වැඩ වර්ජන දෙකක් එක්වීමට නියමිතයි.

ඒ, දුම්රිය වැඩ වර්ජනය සහ ගුරුවරුන්ගේ වැඩ වර්ජනයයි.

එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත්

0

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ අද [ 24 ] රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ එකඟතාවකට එළඹ තිබේ .

එක්සත්  ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංවර්ධන උපාය  මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ .

මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා අවශ්‍ය නම් තමා පක්ෂ නායකත්වයෙන් වුවද යාමට  සූදානම් බව පැවසී යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලුම දෙනා එම තිර තීරණයට විරෝධය දැක්වූ බවත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඉදිරියටත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන ලෙස ජේෂ්ඨ නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  කිරීම්ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතාගේ පූර්ණ  එකඟතාව පළ වී ඇති අතර අනිද්දා [ 26 ] පැවැත්වෙන  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම යෝජනාව සම්මත කිරීමට ද තීරණය කර තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතික පෙර පෙරමුණ නියෝජනය කරන පක්ෂ  නායකයන් ද මීට පෙර තීරණය කර තිබිණි